දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්‌ෂාවට යාන්ත්‍රික ඇසක්‌

 http://blog.ciltsl.com/wp-content/uploads/2013/07/highway7.jpg



දිනෙන් දින සංකීර්ණ වන ලෝකය තුළ මිනිසා ගේ ආරක්‌ෂාව සපුරාගැනීමට මිනිස්‌ හැකියාවන් කෙතරම් දුරට ප්‍රමාණවත් වනු ඇත් ද? යම් දිනක මිනිසා ගේ ආරක්‌ෂාව සැපයීම පිළිබඳ වගකීම යන්ත්‍ර මතට ම නො පැවරේ වි ද? මෙය ජාත්‍යන්තර මට්‌ටමේ විද්‍යා ප්‍රබන්ධ සිනමාවන්හි නිතර ඇසුරු කෙරෙන කථාබහට ලක්‌ වන සංකල්පයකි. කථාන්දරයක්‌ සතුරකු, වීරයකු හා ගැටුමක්‌ සහිත ව නිර්මාණය කිරීමට ඇති අවශ්‍යතාව නිසා බොහෝ දුරට යන්ත්‍රවලට එසේත් නැත්නම් කෘත්‍රිම බුද්ධියට "දුෂ්ට" සළුපිළි ඇන්දවූවත් සැබැවින් ම යන්ත්‍රවලට එම කාර්යය මිනිසාට වඩා කාර්යක්‌ෂම ව ඉටු කිරිමට හැකි ය. කෙසේ වෙතත් මේ සංකල්පය සැබෑවක්‌ වී භාවිතයට ගනු ඇත්තේ තවත් දුර ඈත අනාගතයේ දී බවත් ඒ ද ඇමෙරිකාව, ජපානය වැනි දියුණු රටවල බවත් ඔබට සිතෙනු ඇත. එහෙත් එය එසේ නො වේ. අපේ මවුබිම තුළ ම අපේ පර්යේෂකයෝ ම දැනටමත් අනාගතයේ තීර්ථ රේඛාවන් තරණය කිරීමට සමත් ව සිටිති.
ආරක්‌ෂාව උදෙසා CCTV (Colsed Circuit Television) කැමරා භාවිතය ඉතා සාර්ථක බවට තහවුරු වී ඇති ක්‍රමවේදයකි. අද අපේ රටේ මේ තාක්‌ෂණයේ භාවිතය බහුලව සිදු වන අතර ඒ හරහා සොරුන් ගේ සිට මාර්ග නීති කඩ කරන්නන් ආදී විවිධ වැරැදි සම්බන්ධ පුද්ගලයන් පහසුවෙන් ම හඳුනාගන්නටත් ඔවුනට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ලැබී ඇත. තනි ව්‍යපෘතියක්‌ ලෙස ගත් කල අද CCTV කැමරා වැඩි ප්‍රමාණයක්‌ භාවිත කරනුයේ මෑතක දී අප රටට එක්‌ වූ අධිවේගී මාර්ග පද්ධතිය තුළ ය. දක්‌ෂිණ අධිවේගී මාර්ගය සහ කොළඹ පිටරවුම් අධිවේගී මාර්ග පද්ධතිය තුළ CCTV කැමරා 250කට අධික ප්‍රමාණයක්‌ සක්‍රීය ව පවතියි. හිතාමතා හෝ වැරැදීමකින් හෝ මාර්ග නීති කඩ කරන්නන් හඳුනාගන්නට මෙය මනා පිළියමක්‌ ලෙස පෙනී යන නමුත් ප්‍රායෝගික භාවිතයේ දී එය එතරම් සකසුරුවම් නැත. පැය 24ක්‌ මුළුල්ලේ අඛණ්‌ඩ වීඩියෝ තිර 250ක්‌ ඔස්‌සේ ලැබෙන දර්ශනවල උපරිම ප්‍රයොජනයක්‌ ලබාගැනීමට නම් ඒවා සජීවී ව නිරික්‌ෂණය කිරීමට විශාල තාක්‌ෂණික විභවයක්‌ සහිත නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානයක්‌ ඉදි කිරීමට සිදු වනු ඇති අතර ම ආරක්‌ෂක රැකවලුන් විශාල ප්‍රමාණයක ගේ සේවය ලබාගැනීමට ද සිදු වනු ඇත. මෙය ආර්ථික වශයෙන් ඉතා අලාභදායී, ප්‍රතිඵලදායී බැවින් ඉතා අඩු පිළිවෙතක්‌ බව පවසන්නට අමුතුවෙන් කරුණු දැක්‌වීමට අවශ්‍ය නැත. මෙයට යොදාගත හැකි විසඳුම කුමක්‌ ද?

මොරටුව විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ විද්යුත් හා විදුලි දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පිරිසක්‌ දැනටමත් මේ ගැටලුවට විසඳුම් සොයා තිබේ. එම විසඳුම නම් මිනිසා ගේ දුර්වලතාවන් හා සීමාවන්ට යටත් නො වූ විශාල වැඩ ප්‍රමාණයක්‌ එකවර කළ හැකි අඩු වියදමකින් නඩත්තු කළ හැකි කෘත්‍රිම බුද්ධියකට මේ කටයුත්ත පැවරීමයි. මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ විද්යුත් හා විදුලි අංශ ප්‍රධානී ආචාර්ය අජිත් පැස්‌කුවල් මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු ආචාර්ය රංග රොඩි්‍රගෝ, ආචාර්ය ජයතු සමරවික්‍රම ඇතුළු තවත් පර්යේෂකයන් පිරිසක ගෙන් සැදුම්ලත් පර්යේෂණ කණ්‌ඩායමක්‌ මීට අදාළ පර්යේෂණ මෙහෙයවා ඇත. මේ, ජාතික පර්යේෂණ කවුන්සිලයේ පර්යේෂණ ආධාර මත දියත් වූ එම පර්යේෂණය පිළිබඳව ආචාර්ය රංග රොඩි්‍රගෝ මහතා සමග කළ සංවාදයකි.

ඔබ කණ්‌ඩායම විසින් කරන ලද මේ පර්යේෂණයේ පසුබිම කුමක්‌ ද?

දිගු කලක පටන් මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨය ම`ගින් ශ්‍රී ලංකා රජය විසින් දියත් කරනු ලබන විවිධ ව්‍යාපෘති සඳහා විශේෂඥ උපදෙස්‌ සහ තාක්‌ෂණික සේවාවන් සපයනවා. මේ සඳහා විශිෂ්ට මානව සම්පතක්‌ සහ අධි තාක්‌ෂණික පර්යේෂණාගාර ආදී තාක්‌ෂණික පහසුකම් අප සතුයි. විදේශ රටවලින් විශේෂඥ සහ අධි තාක්‌ෂණික පද්ධති ගෙන්වීමට වැය වන විශාල මුදල රටට ඉතිරි කර ඒ හා සමාන මට්‌ටමෙන් ම තාක්‌ෂණික සේවාවන් සැපයීමට අපට හැකි වී තිබෙනවා. මේ සඳහා පෙන්වා දිය හැකි මෑතකාලීන උදාහරණය වන්නේ මෑතක දී අප රටට හඳුන්වා දුන් අධිවේගී මාර්ග පද්ධතියේ ආරක්‌ෂක කැමරා ජාලය. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හැර දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ පිටරවුම් අධිවේගී මාර්ගයේ CCTV කැමරා පද්ධතිය ස්‌ථාපනය කළේ අපේ කණ්‌ඩායමයි. කොළඹ කටුනායක මාර්ගයේ කැමරා පද්ධතිය පරීක්‌ෂා කිරීමට ද විශේෂඥ උපදේශනය සැපයුවේ අප විසින්. අප කරන ලද මේ පර්යේෂණයට අදාළ නිර්මාණ ක්‍රියාවලියක්‌ ද එහි ම දිගුවක්‌ ලෙස සැලකිය හැකියි. මෙහි දී අප විසින් සිදු කරන ලද්දේ කැමරා පද්ධතියේ ආරක්‌ෂක නිරීක්‌ෂණ (Surveillance) ක්‍රියාවලිය හරහා ලැබෙන තොරතුරු වඩා නිරවද්‍ය ව වඩා කාර්යක්‌ෂම ව විශ්ලේෂණය කොට ආරක්‌ෂක නිලධාරීන් ගේ අවධානය යොමු විය යුතු තැන් පමණක්‌ උපුටා ඉදිරිපත් කළ හැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. මෙමගින් CCTV කැමරා පද්ධතියේ දර්ශන නිරීක්‌ෂණය කිරීමට වැය වන මානව ශ්‍රමය සහ තාක්‌ෂණික උපාංග භාවිතය ඉතා අවම කරගත හැකියි. මෙය ආර්ථික වශයෙන් ඉතා වාසිදායක ප්‍රතිඵලයක්‌.

http://trip2lanka.com/wp-content/uploads/2011/12/southern-expressway1.jpg මේ සඳහා ඔබ භාව්sත කළ තාක්‌ෂණික ක්‍රමවේදය මොකක්‌ ද?

මේ සඳහා අප භාවිත කළේ පරිගණක දර්ශනය  (Computer vision) එසේත් නැත්නම් යාන්ත්‍රික දර්ශනය  (Machine vision) ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධිමය (Artifical Intelegence) යෙදුමයි. මෙය පසුගිය දශක තුන පුරා ලෝකය තුළ වේගයෙන් වර්ධනය වෙමින් පවතින තාක්‌ෂණයක්‌.

මේ "පරිගණක දර්ශනය" පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළොත්..

පරිගණක දර්ශනය යනු මිනිසා සතු ව පවතින සංකීර්ණ හැකියාවක්‌ වන, නිරීක්‌ෂණය කොට වස්‌තූන් හඳුනාගැනීමේ හැකියාව අනුකරණය කිරීමට පරිගණකයට ඇති හැකියාව ලෙස සරල ව අර්ථ දක්‌වන්නට පුළුවන්. උදාහරණයක්‌ ලෙස පාසල් ළමයින් පිරිසක්‌ ක්‍රීඩා පිටියක සෙල්ලම් කරනවා දැක්‌වෙන ඡායාරූපයක්‌ ගන්න. එය දුටු සැණෙන් එහි සිටින ළමයින්, ගස්‌, ගොඩනැඟිලි, කුරුල්ලන්, වලාකුළු ආදිය වෙන් කොට හඳුනාගැනීමට අපට හැකියි. නමුත් සාමාන්‍ය පරිගණකයකට එබඳු සංකීර්ණ දෘෂ්ටිමය තොරතුරු විශ්ලේෂණයක්‌ සිදු කිරීමේ හැකියාව නැහැ. පරිගණක දර්ශනය යන්න ම`ගින් අදහස්‌ වන්නේ එබඳු හැකියාවක්‌ ලැබෙන සේ පරිගණක වැඩසටහනක්‌ ක්‍රමලේඛනය කිරීමයි. රියදුරන් නොමැති ව වාහන ධාවනය කිරීම, අපරාධකරුවන් ගේ මුහුණු හඳුනාගැනීම ආදී ක්‍රියාවලි ගණනාවකට පරිගණක දර්ශනයේ යෙදුම් භාවිත වනවා. බොහෝ කැමරාවල ඇති මුහුණු හඳුනාගැනීමේ (Face detection) හැකියාව ද පරිගණක දර්ශන යෙදුමක්‌.


මේ තාක්‌ෂණය CCTV කැමරා නිරීක්‌ෂණ පද්ධතිය සඳහා භාවිත වන්නේ කොහොම ද?

අප නිර්මාණය කළ පරිගණක දර්ශන වැඩසටහන (program) ඉලක්‌කගත කොට ඇත්තේ වාහන නිරීක්‌ෂණ සඳහායි. මේ සඳහා මුලින් ම අප මීට පෙර ලබාගත් සාමාන්‍ය CCTV කැමරා වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක්‌ ගෙන ඒවායේ රටාවන් පරිගණක වැඩසටහන ම`ගින් හඳුනාගැනීමට ඉඩ සලස්‌වනු ලබනවා. මේ සඳහා ඉතා වේගවත් පරිගණකවලින් සැදුම්ලත් සමීක්‌ෂණාගාරයක්‌ (Server farm) අප සතු ව පවතිනවා. මේ විඩීයෝ දර්ශනවල වාහන හැසිරීම්වල රටාවන් ගණිතමය ඇල්ගෝරිදමයක්‌ ලෙස පරිගණක වැඩසටහන අන්තර්ග්‍රහණය කරගන්නවා. මේ රටාවන් ම`ගින් හඳුනාගැනීමේ සලකුණක්‌ (Signture) නිර්මාණය කරගන්නා පරිගණක වැඩසටහන ඉන්පසු සජීවී විඩීයෝ දර්ශන ලබා දෙන විට හඳුනාගැනීමේ සලකුණට සාපේක්‌ෂ ව ඒවායේ යම් අසාමාන්‍යතාවක්‌ වුව හොත් එය වහා හඳුනාගන්නවා. ඉන්පසු එම දර්ශන වහා ම සේවාවෙහි යෙදී සිටින ආරක්‌ෂක නිලධාරීන් ගේ අවධානය යොමු කරවීමට එයට හැකියි. මෙලෙස දළ වශයෙන් සරල ව පෙන්වා දිය හැකි වූවත් මේ වැඩසටහන නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඉතා පුළුල් හා සංකීර්ණ එකක්‌.

මෙම`ගින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවා ද?

අප විසින් නිර්මාණය කරන ලද මේ පද්ධතිය ඔස්‌සේ අධිවේගී මාර්ගයේ ආරක්‌ෂණ හා කළමනාකරණ කටයුතු විශාල වශයෙන් පහසු කරගත හැකියි. යම් වාහනයක්‌ හදිසි අනතුරකට ලක්‌ වුව හොත් එසේත් නැත්නම් මාර්ග නීති කඩ කරමින් ඉතා වේගයෙන් හෝ ඉතා සෙමින් ගමන් කරයි නම්, වාහනය අනවසරයෙන් යම් තැනක නතර කර ඇත්නම් ආදී යම් සිදුවීමක්‌ සිදු වන විට ඒ පිළිබඳ ව වහාම අධිවේගී මාර්ග කළමනාකරණ මධ්‍යස්‌ථානය, පොලීසිය, ළඟ ම පිහිටි පිටවීමේ දොරටු ආදිය දැනුවත් කිරීමට ඊට හැකියි. මෙබඳු ආරක්‌ෂණ උපක්‍රමවලට අමතර ව අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන ගණන, ඒවායේ අංක, වේගය, තදබදයක්‌ ඇති වන අවස්‌ථා, අනාගතයේ තදබද ගැන පුරෝකථන ආදී සංකීර්ණ තොරතුරු සමුදායක්‌ විශ්ලේෂණය කොට ඉදිරිපත් කිරීමේ හැකියාවක්‌ ඊට තිබෙනවා.

ඔබ කණ්‌ඩායම නිර්මාණය කළ මේ පද්ධති භාවිත කළ හැකි වෙනත් අවස්‌ථාවන් තිබෙනවා ද?

ඇත්තෙන් ම ඔව්. මේ පරිගණක නිරීක්‌ෂණ වැඩසටහන වෙනත් ක්‌ෂේත්‍ර විශාල ප්‍රමාණයක්‌ සඳහා ද වැඩිදියුණු කළ හැකියි. මෙවැන්නකට එක්‌ උදාහරණයක්‌ වන්නේ රෝගීන් හෝ වැඩිහිටියන් රැකබලා ගැනීමට එය යොදාගත හැකි වීමයි. වැඩිහිටි හෝ රෝගී වූ පුද්ගලයන් නිවසේ රඳවා තබා යනවිට ඔවුන් වැටුණ හොත් හෝ වෙනයම් හදිසි අවස්‌ථාවකට මුහුණ පෑමට සිදු වුව හොත් වහා ම රැකියාවේ යෙදි සිටින භාරකරුවකුට එසේත් නැත්නම් ගිලන් රථ සේවාවකට ඒ පිළිබඳව දැනුම් දීමට එයට හැකියි. එමෙන් ම යම්කිසි ස්‌ථානයක සොරකමක්‌ හෝ ගැටුමක්‌ සිදු වන විට ස්‌වයංක්‍රීය ව එය නිරීක්‌ෂණය කොට අනතුරු අඟවන්නට ඊට පුළුවන්. මෙය සිදු වන්නේ පරිගණක නිරීක්‌ෂණය හරහා අසාමාන්‍ය හැසිරීම් රටාවන් වෙන් කර හඳුනාගැනීම මඟිනුයි. උදාහරණයක්‌ ලෙස AT M යන්ත්‍රයකින් මුදල් ගන්නට පැමිණෙන්නන් අනුගමනය කරන්නේ එක ම රටාවක්‌. නමුත් සොරකු ගේ හැසිරීම සහ ඒ සඳහා ගන්නා කාලය බොහෝ විට ඊට වෙනස්‌ රටාවක්‌ ගන්නවා. කෘත්‍රිම බුද්ධියකට ක්‌ෂණික ව එය හඳුනාගන්නට පුළුවන්.

ඔබ කණ්‌ඩායම නිර්මාණය කළ මේ කෘත්‍රිම බුද්ධිමය ආරක්‌ෂණ නිරීක්‌ෂණ පද්ධතිය අධිවේගී මාර්ගය තුළ ප්‍රායෝගික ව භාවිත වනු අපට දැකගත හැක්‌කේ කවදා ද?

එය නිශ්චිත ව කියන්නට බැහැ. අප ඊට තාක්‌ෂණික පසුබිම නිර්මාණය කර අවසන්. නමුත් රජය මගින් එහි ප්‍රයෝජනවත්භාවය හඳුනාගෙන එය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘතියක්‌ දියත් කළ යුතුයි. අප සුබවාදී ව ඒ දෙස බලා සිටින අතර ම රටේ සංවර්ධනයට උපකාරී වන තවත් පර්යේෂණ ක්‍රියාදාමයන් ගණනාවක ම නිරත වී සිටිනවා.


ලිපිය - දමිත නිපුණජිත්


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger